Thursday, November 18, 2010

Sunday, July 18, 2010

‍ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා

මීට පෙර ‍ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි.

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ. 

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි. 

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය. 

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.

මගේ මව මෙන්ම සහෝදරයෙක්ද මෙම ප්‍රතිකාරය නිසා නිට්ටාවටම සුව වූ අතර මෙය රට පුරා ප්‍රචාරය කිරීම සැමගේ වගකීම වේ.
Dr.Sanath Hettige (MBBS, DFM, MD, MCGP)
The Medical Clinic                                                                            Tel – 0112851517
92,Wattegedara Rd,                                                                        Email – hettiges@sltnet.lk
Maharagama
                

Friday, July 2, 2010

ඩෙංගු වලට අපූරු බෙහෙතක්

ඩෙංගු.... සමාජයක් විදිහට අප ඉදිරියේ පවතින තවත් එක් අභියෝගයක්. නමුත් අපේ අවාසනාවකට මෙන් අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනී කරණය වීම නිසා උඩු දුවපු, එක තැන පල්වුනු එහෙමත් නැත්නම් වන වුනු ප්‍රශ්නයක් විදිහටයි මම මෙය දකින්නේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය දේශපාලනී කරණය වීම නිසා මෙහි සම්පූර්ණ වගකීම රජය හා ඊට සම්බන්ධ ආයතන වලට පැවරීමටත් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමටත් රටේ බොහෝ දෙනෙක් පෙළඹී සිටින බව මගේ හැගීමයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ කියුබාවෙන් BTI බැක්ටීරියාව ගෙන්වීමෙන් මීට සදාකාලික විසදුමක් ලැබෙන බවයි. මීට පෙර ලිපියකින්ද මා පෙන්වා දුන්නේ එය එසේ නොවන බවයි.

අද මා සදහන් කරන්නේ මීට අපේ රටේම වෛද්‍යවරයෙක් විසින් සොයාගත් අපූරු බෙහෙතක් ගැනයි. කවුරුත් දන්න දෙයක් තමයි ඩෙංගු වැළදුනු විට අපේ රුධිරයේ රුධිර පට්ටිකි සීඝ්‍රයෙන් අඩුවන බව. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ රුධිර පට්ටිකා 150,000-450,000 ප්‍රමාණයක් රුධිර මයික්‍රො ලීටරයක තිබිය යුතුයි. රුධිර වාර්ථාවක මෙය දැක්වෙන්නේ PLT නමින්. ඩෙංගු වැළදුනු විට මෙය 50,000 දක්වා වුවත් අඩු වීමේ අවධානමක් පවතිනවා. සාමාන්‍යයෙන් භාවිතා වන බටහිටඖෂධ වලින් දිනකට මෙය වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ 10,000 පමණය. නමුත් මේ අපූරු ඖෂධයෙන් 70,000 පමණ වර්ධනයක් ලබා ගත හැක. මේ ඖෂධය තව දුරටත් අපූරු වන්නේ එය ලංකාවේ ඕනෑම ගෙවත්තක පහසුවෙන් වැවෙන ශාකයක් වීමයි. මේ දැක්වෙන්නේ පසුගිය දිනක මෙම ඖෂධය ලබාගත් රෝගියකුගේ විස්තරයි.

මෙහිදී 28 දා මෙම ‍ඖෂධය භාවිතා කළ අතර පැය 24ක කාලයක් තුළදී රුධිර පට්ටිකා 134,000 සිට 207,000 දක්වා වර්ධනය විය.

නමුත් අවාසනාවකට මේ ගැන තවමත් රටේ බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. ඒ නිසාම මේ ගැන කිසිදු හෙළිදරව්වක් කිරීමට මා පැකිළෙන්නේ කොතළ හිඹුටු වලට වූ දේ මෙයටත් වේ යැයි බියෙනි. නමුත් ඇත්තෙන්ම අප මේ ගැන රටේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කළ යුතුය. එය‍ මා සිතන්නේ අප සැමගෙම යුතුකමකි.
‍‍
ඩෙංගු ගැන දේශපාලන කෝණයකින් නොව මිනිස් හදවතකින් බලමු. තමන්ගේ ගෙවත්තේ, ආයතනයේ ඩෙංගු මදුරුවන් බෝ නොවීමේ වගකීම තමන් අතට ගන්න. ඩෙංගු නැතිකළ හැක්කේ සමාජීය එකමුතුවකින්ම පමණී. නැතුව බැක්ටීරියාවකින්නම් නොවේ.

Wednesday, June 23, 2010

අපි පොලිතින් පුච්චමු

පොලිතින් ............. අපේ රටේ තවත් එක් ප්‍රබල ගැටලුවක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වුනාට පොලිතින් භාවිතයේ අඩුවකුත් නෑ. පාවිච්චි කරල ඉවර වුනාට පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ කුණු කූඩෙ‍ට දාන එකනේ. එක අතකින් බැලුවහම කාට මොන කරදරයක් වුනත් තමන්ට කරන්න පුළුවන් ලේසිම වැඩෙත් ඒකනේ. හැබැයි හුග දෙනෙක් පොලිතින් පුළුස්සන්න ටිකක් මැළිකමක් දක්වනවා. ඒ විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා කියන මතය නිසයි. ඇත්තම කියනවා නම් මමත් හිතාගෙන හිටියේ එහෙම තමයි. නමුත් අද අපේ සර් කෙනෙක් ඉදිරිපත් කළ තර්කය අපිට අළුතෙන් හිතන්නට යමක් එකතු කළා.
දැන් බලන්න මේ තමයි පොලිතින් වල සංයුතිය.
CH3 – (CH2)n –CH3
පොලිතින් පිච්චුවාම පිට වෙනවා කියලා කියන්නේ ඩයොක්සින් කියන සංයෝගයයි. මේ තියෙන්නේ අන්න ඒක.

දැන් තියන ගැටලුව තමයි පොලිතින් පිළිස්සූවිට කොහොමද ඩයොක්සින් හැදෙන්නේ කියන එකයි. අපි දන්න රසායනවිද්‍යාව‍ට අනුව නම් වෙන්න බෑනේ ඉතින්.
මෙතනදී මම තේරුම් ගත්ත දේ තමයි කවුරු හරි කිව්ව පළියට හරි එහෙමත් නැත්නම් පොතක පත්තරයක තිබුනයි කියලා අපි යමක් පිළිගන්න නරකයි. අපි ඉගෙන ගත්ත දැනුම තර්කානුකූලව යොදල ඒ ගැන තීරණයකට එන්න ඕනේ කියලා මට හිතුනා. ඇත්තටම අපේ රටේ සරසවි හෝ එවැනි වෙනත් ආයතනවල ශිෂ්‍යන් මේ වගේ හිතන්න පුරුදු වෙලා නෑ නේද? ඒ ගැනත් අපි හිතන්න ඕනේ කාලය එළඹිලා.
දැන් ආපහු කතාවට එමුකෝ. මම ඉතින් මේ ගැන තව ටිකක් හොයලා බැලුවා. කතාව ඇත්ත. පොලිතින් පිච්චුවා කියලා පරිසර හානියක් වෙනවා කියන්න සාක්ෂි නෑ. හැබැයි පොලිතින් සහිත කුණුගොඩවල් නම් පුච්චන්න එපා. ඒ කුණුගොඩේ තියන ක්ලෝරීන් අඩංගු ද්‍රව්‍ය සමග ඩයොක්සින් හැදෙන්න පුළුවන් නිසයි. ඒ වගේම PVC වගේ ක්ලෝරීන් අඩංගු ප්ලාස්ටික් වර්ගත් පුළුස්සන්න එපා.
ඒ කියන්නේ අපිට බය නැතුව පොලිතින් ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද පොලිතින් කියන්නේ බොරතෙල් වල තවත් එක් ප්‍රථිඵලයක්. විශේෂයෙන්ම ලී කුඩු හෝ දර ලෙහෙ‍සියෙන් ගිනි අවුළුවා ගන්නට බැහැ. ඒ නිසයි අපි භූමිතෙල් වැනි දෙයක් යොදන්නේ. ඒ වෙනුවට අපට පුළුවන් පොලිතින් ඒවා සමග එක් කර ගෙදර දොරේ ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න.

Friday, May 28, 2010

EXMO ට පෙරවදනක්

එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනය ගැන ඔබ දැනටමත් දන්නවැ ඇති. ඊට සමගාමීව වෙනමම බ්ලොග් අඩවියක් ආර්ම්භ කරන්නට මම තීරණය කළා. ඒ තමයි මැවිසුරු.
මෙන්න එහි පළ කල අළුත්ම ලිපිය


අපි දන්න කියන ඉතිහාසයට අනුව ( රාවණා රජ්ජුරුවන්ගේ, දඩුමොණරයේ කතා ඇත්තක් නම් මම මේ ලියන වාක්‍ය බොරු වෙනවා) ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා භෞතික අතින් ඉතා දියුණු මට්ටමකට මිනිසා අද පැමිණ සිටිනවා. හෝමෝ ඉරෙක්ටස් ගේ සිට නූතන මානවයා දක්වා පැමිණි මේ ගමනේ සාර්ථක බවට ඉතාම වැදගත් සාධකයක් විදිහට ‘මිනිසාගේ කුතුහලය’ හදුන්වන්නට පුළුවන්. මම දකින විදිහට අපගේ ලෝකයේ හෙට දවස බිහිවන්නේ අද දවසේ අප තුළ ඇති කුතුහලයන් සන්සිදුවා ගැනීමට අප ගන්න විවිධ ක්‍රියා මාර්ග තුළින්.
ඉතින් මීට අවුරුදු දහස් ගනනකට පෙර අපේ මුතුන් මිත්තන්ට අවට ලෝකය ගැන පුදුමාකාර කුතුහලයක් පවතින්ට ඇති. ඒ නිසාම මේ ලෝකය පුරා විවිධාකාරයේ අරුම පුදුම ශක්තීන් සැගවී ඇති බවට ඔවුන් විශ්වාස කරන්නට ඇති. ඒ ශක්තීන් තුළින් කවදා හෝ අමරණිය වීමට, ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි ‍ඖෂධ සාදාගැනීමට පමණක් නොව ඕනෑම දෙයක් රත්තරන් බවට පත්කර ගන්නට පුළුවන් වේවි යැයි ඔවුන් සිතීම පුදුමයක් නෙමෙයි. අපි කවුරුත් දන්නවනේ මොකක් හෝ කුතුහලයක් ඇති වුනාම ඒ ගැන හොයල බලනකම් හිතට නිවනක් නෑ කියලා. ඉතින් අන්න ඒ එදා මිනිසුන් ඔවුන් මේ විශ්වාස කළ සැගවුනු ශක්තීන් ගැන සොයන්නට පටන් ගත්තා. ඒ අයව හදුන්වන්නේ ඇල්කෙමිවරු ‘alchemist’ කියලයි. නමුත් අද වෙනකොට එදා දුටු සිහින ස‍දාකල් මානව වර්ගයාගේ සිහිනයක් ලෙසම පවතින බව පැහැදිළිවී අවසන්. නමුත් ඒ අරමුණට යන්නට ගත් උත්සාහය නම් අපතේ ගියේ නෑ. අද දවසේ ලෝකයේ එක් පදනමක් වන විවිධ රසායන ද්‍රව්‍ය බිහිවූයේත් සෑම නව සොයාගැනීමකට පදනම වූයේත් මේ මහා ගවේෂණය හා එහි අතුරු ප්‍රතිඵලයි.
අද වෙනකොට ඇල්කෙමිවරු මේ ලෝකය මත නෑ. නමුත් ඔවුන්ට නෑකම් කියන ඔවුන්ගේ පරපුරේ නූතන පුරුක් ලොව පුරාම පැතිරී සිටිනවා. විද්‍යාඥයන් විවිධ පර්යේෂකයන් ඒ අතර විශේෂයි. ඒ අතර තවත් පිරිසක් සිටිනවා මේ ලෝකයට සුවිශේෂී කාර්යයක් කරපු මෙන්ම කරන. ඒ තමයි ‘chemical and process engineers’ හෙවත් රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්.
මම හිතන්නේ ලංකාවේ තවමත් බොහෝ දෙනෙක් මේ වෘත්තිය පිළිබදව දන්නේ නෑ. එහෙමත් නැත්නම් පැහැදිළි අදහසක් නෑ. ඉංජිනේරු විෂය බොහොම පුළුල් විෂයක්. අතීතයේ නම් සිවිල්, කාර්මික, විදුලි ආදී සීමිත ‍ක්ෂේත්‍රන් වලින් සමන්විත වුවත් අද වන විට ඉංජිනේරු විෂය සීමා මායිම් නැති විෂයක් බවට පත්වෙලා. ඉලෙක්ට්‍රොන්ක්, පරිඝනක, ද්‍රව්‍ය (materials), ආදී පමණක් නොව food, polymer, nano technology, nuclear, environmental, biochemical ආදී මෙකී නොකී ක්ෂේත්‍රන් ගණනාවක ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඉංජිනේරුවන් සිය දහස් ගණනක් අද ලෝකයේ සිටිනවා. නමුත් ලංකාවේ සමාජය තුළ මේ සම්බන්ධයෙන් ඇති දැනුම දුර්වල මට්ටමකය් පවතින්නේ. බොහෝ දෙනෙක් සිතන්නේ ඉංජිනේරුවන් සිටින්නේ ගොඩනැගිලි හෝ යන්ත්‍ර සූත්‍ර ගොඩ නැගීමට කියාය. නමුත් අද එතනින් ඔබ්බට ගිය වගකීමක් ඉංජිනේරුවන් හට පැවරී ඇත. රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන් යනු එවැනි වගකීමක් ඇති ඉංජිනේරුවන් පිරිසකි.
කාර්මික විප්ලවයට පෙර ලෝකයේ සම්පත් හෝ බලශක්තිය සීමා සහිත යැයි හෝ නිශ්පාදන වියදම අවම කරගත යුතු යැයි හැගීමක් මිනිසුන් තුළ තිබුනේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම බටහිර සමාජය තුළ කාර්යක්ෂම නිශ්පාදනයකට එනම් භාවිතා කරන අමුද්‍රව්‍ය හා බලශක්තියට අනුරූපීව උපරිම නිශ්පාදනයක් හෝ අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හා අවම බලශක්ති ප්‍රමාණයක් වැය කර නිශ්පාදනය කිරීමට අවශ්‍යතාවයක් ඔවුන් සතුව තිබුනේ නෑ.
නමුත් කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණ නිශ්පාදනයත් වෙළද පොළ තරග කාරී බවත් වර්ධනය වූවා. ඒ සමගම එවකට නිශ්පාදකයන්ට පෙර කී කාර්යක්ෂම නිශ්පාදන සංකල්පය අත්‍යවශය වූවත් එවකට පැවති ඉංජිනේරුමය දැනීම එයට ප්‍රමාණවත් වූයේ නෑ. මේ සදහා එවකට පැවති ඉංජිනේරු දැනුමට රසායන විද්‍යාවේ දැනුම පමණත් නොව ගණිත‍ය, ආර්ථික විද්‍යාව, ජීව විද්‍යායවද අවැසි වූවා. මෙලෙස සියළු විද්‍යාවන්ගේ අපූරු සංකලනයකින් එදා රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරු විද්‍යාව එළිය දුටුවා. මහා පරිමාණයේ කර්මාන්ත ඇති යුරෝපයේ හා ඇමරිකාවේ අදටත් ඉතා විශාල ඉල්ලුමක් ඇති වෘත්තයක් වන්නේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ය.
නමුත් රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ගේ හැකියාවන් හා වගකීම් පැහැදිළි ලෙස විස්තර කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නැති බව මගේ විශ්වාසයයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ලිපි පෙළක් ලිවීමටද බලාපොරොත්තු වනවා. ඒ අතරම තවත් දෙයක් මතක් කරන්නට ඕනේ. ඒ තමයි රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ගේ දස්කම් විස්කම් සියැසින් දැකබලා ගැනීමට අපූරු අවස්ථාවක් එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනයේදී ඔබට හිමි වනවා.

Wednesday, March 31, 2010

2020 කරා .......... අපිට මොකද උනේ?

කතාව පටන් ගන්න කලින් අපි ටිකක් අතීතයට යමු. වැඩි ඈතකට නෙමෙයි මීට අවුරුදු 60කට විතර අතීතයට. හරියටම කියනවා නම් වර්ෂ 1955 ට. ඒ කියන්නේ අපි නිදහස ලබලා වසර හතක් ඉක්ම ගිය තැන. ඇත්තටම එදා රටේ ආර්ථික තත්වය මොනවගේද? ටිකක් බලමු ඒ ගැන.
රටේ මුලු ආදායම - රුපියල් මිලියන 1159
රටේ මුලු වියදම - රුපියල් මිලියන 1008
අයවැය අතිරික්තය - රුපියල් මිලියන 91
විදේශීය වත්කම් ප්‍රමාණය - ඩොලර් මිලියන 258 ( මෙය එවකට මාස 10ක ආනයන වලට ප්‍රමාණවත් විය)
මුලු විදේශ ණය - ඩොලර් මිලියන 43 ( දල ජාතික නිෂ්පාදනයෙන් 3.9%)
එදා මුලු මහත් ආසියාකරයේම ලංකාවට වඩා ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි. නමුත් ජපානය ඒ වන විටත් යුද්ධයෙන් වූ හානියෙන් පීඩා විදිනවා. කොරියාව යුද්ධයෙන් දෙකඩ වෙලා. භාරතය ඉන්දියාව පකිස්තානය ලෙස දෙකඩ වෙලා. එදා ආසියාවේ පැහැදිළි අනාගතයක් හිමි ඒ සදහා හොද පදනමක් ඇති රට වශයෙන් සැලකුවේ අපේ මේ ලංකාවයි. ආසියාවේ ඇතැම් රටවලට අදටත් නැති පැහැදිලි නීති පද්ධතියකින්, විධිමත් රාජ්‍ය සේවයකින් මෙන්ම විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයකින් පමණක් නෙවේ මනා මාර්ග පද්ධතිකින් යුක්ත වූ මේ පුංචි රට බොහෝ දිගු ගමනක් යාවි යැයි බොහෝ ලෝක නායකයන් සිතු‍වා. සිංගප්පූරුවේ ලී කුවාන් යූ ඒ අතරින් එක් අයෙක්. එදා මේ තත්වය නිකම් හරියට හාවාගෙයි ඉබ්බගෙයි රේස් එක වගෙයි. නමුත් අවාසනාවකට මේ කතාව අන්තිමට අපේ ආච්චිලා අපට කියා දුන්නු හාවාගෙයි ඉබ්බාගෙයි කතාව වගේම වුනා. අන්තිමට ඉබ්බො ඔක්කෝම ටික හාවා පහු කරගෙන ගියා.
එදා අපේ තොටලග හා වෙනත් ප්‍රදේශ වල ඉන්න දුප්පත් පැල්පත් වාසීන් ඉන්න ප්‍රදේශ වලට කිව්වේ කොරියාව කියලයි. ඇත්තටම එදා මුලු කොරියාවම පැල්පත් වලින් පිරී ඉතිරුනා. නිකම් හරියට මහා අනාත කදවුරක් වගෙයි. ඒත් අද? අපේ කොරියාව නම් එහෙමමයි. හැබැයි කොරියාව නම් බොහෝම දුර ගමනක් ගිහින්. එදා අපේ රටේ ඒක පුද්ගල ආදායමෙන් තුනෙන් එකක් තිබූ කොරියවේ අද ඒක පුද්ගල ආදායම අපේ වගේ දොළොස් ගුණයක්.
මේ තත්වය ගැන සිංගප්පූරුවේ නායක ලී කුවාන් යූ මහතා තම තුන්වන ලෝකයෙන් පළමු ලෝකය කරා යන ග්‍රන්ථයේ මෙසේ සදහන් කර ඇත.
Ceylon was Britain’s model Commonwealth country. It had been carefully prepared for independence. After the war, it was a good middle-size country with fewer than 10 million people. It had a relatively good standard of education, with two universities of high quality in Colombo and Kandy teaching in English, a civil service largely of locals, and experience in representative government starting with city council elections in the 1930s. When Ceylon gained independence in 1948, it was the classic model of gradual evolution to independence.
Alas, it did not work out. During my visits over the years, I watched a promising country go to waste
ඉතින් ‍‍මොනවද හිතෙන්නේ? දුකක්, කේන්තියක්, කළකිරීමක් එහෙමත් නැත්නම් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ වගේ හැගීමක්? හැබැයි තියෙන හකුර රැක ගන්නා අතරම ගිය හකුරත් කෙසේ හෝ සොයා යන්නට කාලය ඇවිල්ලා කියලයි මම නම් හිතන්නේ.
මේක කියවගෙන යනකොට ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ඇයි අපිට මෙහෙම උනේ කියලා. ඇත්ත අපිට මෙහෙම උනේ ඇයි කියලා ආපස්සට හැරිලා බලන්නත් කාලය ඇවිල්ලා. එහෙම නැතිවුනෝතින් අනාගතයේදීත් අපි අතින් ඒ වැරදි නැවත නැවතත් සිදු වේවි. අනිත් අතට අනෙකුත් රටවල් අපව පසුකරගෙන සංවර්ධනය කරා ගිය මාර්ගය කුමක්ද? ඔවුන්ගේ උපක්‍රම මොනවාද කියලත් හොයල බලන්න කාලය ඇවිත්.
අපි නිදහස ලබලා වසර 60කුත් ගෙවිලා ගිහින්. මේ අවුරුදු 60න් අවරුදු 50කටත් වැඩි කාලයක් මේ රටේ බොහෝ අය දේශපාලන තීන්දු තීරණ ගත්තේ බඩ ගැන හිතලයි. ඔබත් මමත් අපේ දෙමාපියන් විතරක් නෙමෙයි ආච්චි සීයා ද මේ ගොඩට අයත් වෙනවා. ආර්ථිකයේ ප්‍රධානතම නියමයක් තමයි ඉල්ලුමට අනුව සැපයුම. මෙය දේශපාලනයටත් අදාළයි මොකද එක්තරා ආකාරයකට දේශපාලනය යනු වෙළද ‍පොළකි. ඒ නිසා අපේ දේශපාලන පක්ෂත් ජනතාවගේ බඩ ඉලක්ක කරගෙන දේශපාලනය කළා. අදටත් එක්තරා ප්‍රමාණයකට කරනවා. හාල් සේරුව, ධාන්‍ය රාත්තල දේශපාලන කරලියට ආවේ අන්න එහෙමයි. මෙවැනි පසුබිමක් තුළ පෙර සදහන් ආකාරයේ ආ මග පිළිබද පසුවිපරමක් මෙම සමාජයෙන් බලාපොරොත්තු වන්නට බෑ.
නමුත් වසර දෙදහසින් මෙහාට මෙහි යම් වෙනස් කමක් ක්‍රමයෙන් දකින්ට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණය ගත්විට මේ රටේ අතිමහත් බහුතරයක් කුමන අපේක්ෂකයකුට තම මනාපය පළ කළත් ඒ පළ කලේ තමන් බඩට වඩා මේ රටට යමපත් කිරීමට බව අප තේරුම් ගත යුතුයි. අන්න ඒ නිසයි ආ මග දෙස ආපසු හැරී මේ රටට අවැසි තේරුම් ගැනීමට කාලය ඇවිත් කියා පැවසූයේ.
අපට වැරදුනේ කෙසේද කියා සංවදෙයක් මෙන්ම ඒ වරද හදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන සංවාදයක්ද අප අතරින්ම ඇතිවිය යුතුය. ඇත්තෙන්ම මේ ගැන මේ ලිපියෙන් කතා කරන්නට ගියෝතින් මේ ලිපිය ඕනෑවට වඩා දික් වේවි. ඒ නිසා ඒ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. ඒ වගේම මේ ඔබේ අදහස් ඉදිරි ලිපි සකස් කිරීමේදී බෙහෙවින් වැදගත් වේවි. මුලින් කිව්වා වගේ අපට මේ පිළිබදව සංවාදයක් ඕනෑ කරන‍වා. මේ ඒකට හොදම කාලයයි.
(මූලාශ්‍ර පාඨලී චම්පික රණවකයන්ගේ ඉදිරි දැක්ම 2020)

Sunday, March 21, 2010

BTI බැක්ටීරියාව

BTI බැක්ටීරියාව එහෙමත් නැත්නම් Bacillus thuringiensis israelensis යන බැක්ටීරියාව Bacillus thuringiensis යන බැක්ටීරියා වර්ගයේ එක් විශේෂයක්. Bacillus thuringiensis කෘමිනාශක හැකියාවක් සහිත බැක්ටීරියා විශේෂයකි. මෙය delta-endotoxin, හෝ "toxic crystal" ලෙස හදුන්වන ප්‍රෝටීනය නිපදවන අතර එය අදාළ කෘමියාගේ ජීර්ණපද්ධතිය අක්‍රිය කිරීමට සමත්කම් දක්වයි. ඒ අනුව මෙම බැක්ටීරියා විශේෂ කෘමිනාශක ලෙස භාවිතයේදී එය කෘමියාගේ ශරීරගත විය යුතුය. එවිට ජීර්ණපද්ධතිය අක්‍රිය වී කෘමියා කුසගින්නේ මිය යයි.


කෘමියා තම ශරීරය පුරා ආහාර ගබඩා කරගන්නා සමය (larva) මෙම බැක්ටීරියාව ක්‍රියාත්මක කළයුතු අවධියයි. මෙම බැක්ටීරියාව ජලයේ පමණක් නොව ගස්වල කොළ වල මෙන්ම පොළවේද පවතී.


මේ අනුව මෙම බැක්ටීරියාව විනාශකරන්නේ මදුරු බිත්තර නොව මදුරු කීටයායි. දැන් විමසිලිමත් මනසකට ඇතිවිය යුතු ගැටලුව නම් මෙම බැක්ටීරියාව මදුරුවන් පමණක් නොව අනෙකුත් කෘමීන්ද විනාශ කරනවාද යන්නයි. සමස්තයක් ලෙස ගත්විට පිළිතුර ඔව්. නමුත් පෙර සදහන් කල පරිදි Bacillus thuringiensis බැක්ටීරියාවේ විශේෂ කිහිපයක් පවතී. ඉන් Bacillus thuringiensis israelensis යන්න මදුරුවන් හා Black fly හා Fungus gnat යන කෘමීන් මර්ධනයට විශේෂිත වේ. දැනට සොයාගෙන ඇති කරුණු වලට අනුව ඉන් වෙනත් ජීවීන්ට අනතුරක් නැත. මිනිසාට කිසිසේත්ම අනතුරක් නැත්තේ අපගේ ආම්ලික ආමාජශය තුළ ඉහත කී ප්‍රෝටීනය ක්‍රියා නොකරන නිසාය.


නමුත් මෙම බැක්ටීරියවේ වෙනත් විශේෂ මකුළුවන් පළගැටියන් සමනළයන් විනාශ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.


අප ප්‍රවේසම් විය යුත්තේ ඇයි?


අපේ රට ජෛව විවිධත්වයෙන් බහුල රටකි. අපේ රටට ආවේණික සතුන් කෘමීන් විශාල සංඛ්‍යාවක් ඇත. මොවුන්ට මෙම Bacillus thuringiensis israelensis හි බලපෑම ගැන නිශ්චිත දත්ත නැත. ඇත්තේ අනුමාන පමණී. රටකට ආගන්තුක ජීවීන් ගෙන්වන විට එය ඉතාමත්ම ප්‍රාවේශමෙන් කළ යුතුය. ඒ එම ජීවීන් එම රටෙහි ජීවීන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා නිෂ්චිතව කිව නොහැකි නිසාය. ඇතැම් විට යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණකාරී ස්වභාවයකින් විශාල පරිසර හානියක් ද සිදුවිය හැක. එනිසා මෙම BTI බැක්ටීරීයාව ලංකාවට ගෙන්වීමට පෙර එහි සුදුසු බව 100%කින් තහවුරු කරගත යුතුය.


නමුත් නැවතවරක් මතක් කළ යුත්තේ BTI බැක්ටීරීයාව ලොව අවදානම අවම කෘමි මර්ධන ක්‍රමයක් ලෙස සැලකෙන බවයි.


අපගේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් පවතී. එනම් බැක්ටීරියා හි ජීවිත කාලය ඉතා කෙටිය. මේ නිසා අපට සාපේක්ෂව ඔවුන් ඉතා කෙටි කාලයකින් විශාල පරම්පරා සංඛ්‍යාවක් බිහිකරයි. මේ නිසා ඔවුන්ගේ ජානවල යම් යම් වෙනස් වීම් සිදුවීමේ වේගයද වැඩිය. මේ නිසා මෙවැනි බැක්ටීරියාවක් අපගේ පරිසරයට මුදාහළ විට අපගේ පරිසර තත්වයන් සමග කාලානුරූපීව එය කෙසේ අනුවර්තනය වේදැයි අවධානයෙන් සිටිය යුතුය.


පසුවදන


ඩෙංගු මර්ධනය කිසිසේත් BTI බැක්ටීරීයාව මගින් පමණක් ඉටුකර ගත නොහැක. මෙම BTI බැක්ටීරීයාව මගින් ඩෙංගු මර්ධනය කිරීමට නම් මදුරුවන් බෝවන සෑම ස්ථානයකටම මෙම බැක්ටීරියාව ව්‍යාප්ත කළ යුතුය. එනම් ඔබගේ ගෙවත්තේ වතුර එක්රැස්වෙන පොල්කටුව තුළට මෙම බැක්ටීරියාව පැමිණිය යුතුය. මෙය එසේ පැමිණියද කාලයත් සමග එම බැක්ටීරියාව විනාශ වීමටද පුළුවන් බැවින් නිතර තිතර ව්‍යාප්ත කිරීම් සිදුකල යුතුය. මෙය එතරම් ප්‍රායෝගික නැත. ඒ නිසා දිගින් දිගටම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීද සිදුකළ යුතුය. එහි වගකීම මුළු මහත් සමාජයම සතු කාරණයකි. BTI බැක්ටීරීයාව භාවිතා විය යුත්තේ මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ සාර්ථකත්වය වැඩිකර ගැනීමට හා එය තිරසාර විසදුමක් බවට පත්කර ගැනීමටය.

ඩෙංගු BTI හා අපි

ඩෙංගු...පසුගිය කාලය පුරාම වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාවක්. මෙවර ඩෙංගු සමග තවත් අළුත් වචනයක් සෑම තැනම කියවුනා. ඒ තමයි BTI බැක්ටීරියාව. මේ සමගම සමාජය තුළ හටගත් මතය නම් කියුබාව මෙම බැක්ටීරියාව මගින් ඩෙංගු උවදුර ජය ගත්තා නම් අපටත් එය කළ හැකි නොවේද යන්නයි. ඇත්ත වශයෙන්ම අපට එය කරන්න පුළුවන. අද සමාජය විශ්වාස කරන්නේ කියුබාවෙන් මෙම බැක්ටීරියාව ගෙන්වා රට පුරා එය ව්‍යාප්ත කිරීමෙන් ඩෙංගු උවදුර නිවාරණය කරගත හැකි බවයි. නමුත් එය ඒ ආකාරයෙන් සරලව දැකිය හැකි කාරණයක්ද?


කියුබානුවන් හා ඩෙංගු උවදුර


‍ඩෙංගු ඉතිහාසය පුරාම වරින් වර කියුබාවට මහත් හිසරදයක් වූ වසංගතයක්. 1981 දී පමණ පැතිරී ගිය වසංගතයෙන් රෝගීන් 158 දෙනෙක් මියගියා. සුපුරුදු පරිදි මෙය ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස හැදින්වුවද කියුබානුවන් මීට මුහුණ දීමට පියවර ගනු ලැබුවා. ඒ සදහා ඔවුන් විද්‍යාත්මකවත් දේශපාලන හා සමාජීය වශයෙන් එක්රැස් වූවා. BTI බැක්ටීරියාව අයත් වන්නේ විද්‍යාත්මකව මේ සදහා ඇතිකල විසදුම් ගොන්නටයි. මෙම විසදුම යථාර්තයක් බවට පත්කර ගන්නට දස දහස් ගණනක් සිවිල් ජනතාව එක් රැස් වූවා. ඩෙංගු මදුරුවා විනාශකිරීමේ වගකීම බැක්ටීරියාවට පමණක් බාර නොදී මිනිසුන් තම අවට පරිසරයේ මදුරුවන් බෝවන තැන් නිරන්තරයෙන් සොයාබලා විනාශ කරනු ලැබුවා. එරට ජනමාධ්‍යයද ඩෙංගු රෝගීන් ගණන ගණන් කරනු වෙනුවට ‍ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට මිනිසුන් උන්නදු කරවනු ලැබුවා. දැනුවත් කරනු ලැබුවා. රජය මෙම සමස්ථ ක්‍රියාවලියට අවැසි නායකත්වය දෙනු ලැබුවා. කියුබාව ‍ඩෙංගු ජයගත්තේ සාමූහික ක්‍රියාවලියක් ලෙසිනි. BTI බැක්ටීරියාව එම ක්‍රියාවලිය වේගවත් කරනු ලැබුවා පමණී


BTI බැක්ටීරියාව හා එහි ක්‍රියාවලිය ගැන ඊලග ලිපියෙන් කතා කරමු

Sunday, March 14, 2010

ග්ලුකෝමා - ආලෝකය සොරා ගන්නා

අපට ජීවිතයේ බොහොම සුලබව අසන්නට ලැබෙන කියමන් දෙකක් තමයි ‘දන්නෙම නැතුව උදේ වෙලා’ හා ’දන්නෙද නැතුව රෑ වෙලා’. ඇත්තටම අපි ඇස් පියාගෙන හිටියෝතින් ඉර නැගීමවත් ඉර බැසීමවත් අපට දැනෙන්නෙ නෑ. අන්න ඒ විදිහටම අපට නොදැනීම අපේ පෙනීම එහෙමත් නැත්නම් අපේ ජීවිතයේ ආලෝකය හෙරකම් කරගෙන යන රෝගයක් තමයි ග්ලුකෝමා Glaucoma කියන්නේ.

අනිත් ඇස් රෝග මෙන්ම ග්ලුකෝමා ද දෘෂ්ඨික ස්නායුවට ( ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායුවට) හානි සිදු කරනු ලබනවා. මේ නිසා ඇසේ පෙනීම පිරිහෙන අතර ප්‍රතිකාර සිදු නොකලෝතින් අන්ධභාවයට පත්වීම වළක්වන්නට බැරිය.

ඇසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගෙන ඒමටත් අපද්‍රව්‍යය ඉවත් කිරීමටත් ජලමය දියරයක් නිතරම ඇස තුළ නිපදවෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ මෙම දියරය ගමන් කරන මාර්ගයේ විවිධ අවහිරතා ඇතිවෙනවා. නමුත් දිගින් දිගටම දියරය නිපදවෙන බැවින් ඇස තුළ පීඩනයක් වර්ධනය වනවා. ග්ලුකෝමා රෝගයේ නිධානය මෙයයි.

මෙහි භයානක කම කුමක්ද?

ඇත්තෙන්ම මෙම රෝගයට පැහැදිළි රෝග ලක්ෂණයන් නොමැත. රෝගියාට තම පෙනීමෙහි අඩුවක් හෝ වෙනත් අමුත්තක් නොදැනේ. බොහෝ විට නොදැනීම අන්ධභාවයට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් පහත කරුණු එකක් හෝ වැඩි ගණනක් තිබීම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි කරයි.

1. වයස අවුරුදු 40ට වැඩි වීම
2. මව පියා සහෝදර සහෝදරියන් හෝ කිට්ටු නෑදෑයන්ට රෝගය වැළදී තිබීම
3. අවිදුර දෘෂ්ඨිකත්වය - ළග පමණක් පෙනීම
4. කලක පටන් ඉරුවාරදය පැවතීම
5. කෝට්සෝන් (ස්ටීරොයිඩ්) අඩංගු බෙහෙත් භාවිතය

තවමත් මෙම රෝගය සුව කිරීමට නිසි ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. වාසනාවන්ත ලෙස රෝගය හදුනා ගැනීමට හැකිවූවෝතින් එය පාලනය කිරීම පමණක් කළ හැක. නැතහොත් තමන්ට හොරෙන් ජීවිතය අදුරු වී යනු ඇත.

නිකම් ලෙඩ ගැන කියලා බය කරනවා කියලා හිතන්න එපා. මම මේක ලිව්වේ මගේ පෞද්ගලික අත්දැකීමක් නිසයි. ඒ මගේ ළගම නෑදෑයෙකුට මෙය වැළදී ඇති බව බොහොම අහන්බෙන් හොයා ගත්ත නිසා. තම බිරිදට කණ්නාඩි කුට්ටමක් ගැනීමට ගිය අවස්ථාවේ නිකමට වගේ තමන්ගේ ඇස් ද පරීක්ෂා කරගත් නිසා අදටත් ආලෝකය විදින්නට ඔහු වාසනාවන්ත වුනා. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නයි මේක ලිව්වේ.

Saturday, February 27, 2010

හීන බලන්න බය වෙන්න එපා..........

මීට වසර 5 කට 10 කට පෙර පැවතුන තත්වය ගැන කල්පනා කරන කොට ඇත්තටම අපිට සන්තෝස වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ තීරණාත්මක යුගයක් අපේ ජීවිතයේ හොදම කාලයේදී පහළ වීම ගැන. ඒ කියන්නේ අපේ රටේ සෑම අංශයක්ම සංවර්ධනය කරන්න පුළුවන් හොදම අවස්ථාව මේකයි. මේ වගේ වෙලාවක තරුණයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි.

හැබැයි මේ සංවර්ධනය කියන්නේ ලංකාව සිංගප්පූරුවක්වත් ඇමරිකාවක්වත් කරන එක නම් නෙමෙයි. ලංකාව ලංකාවම විය යුතුයි. අපේ සංවර්ධනය අපටම අවේණික විය යුතුයි. මෙතුවක් කල් අප අනෙකුත් රටවල් පරමාදර්ශයන් කරගෙන ඒ රටවල ආකෘතියක් මෙහි ගොඩ නගන්න උත්සාහ කළා. මම හිතන්නේ අපට වැරදුනෙත් ඒ නිසාම කියලයි.

මෙතාක් එවැනි දේවල් සිද්ධ වුනේ අපේ පාලකයන්ගේ මෙන්ම ජනතාව තුළද තිබුනු හීනමානයයි. අපට බෑ, අපට නෑ, සුද්දො තමයි වැඩ කාරයා, ඒ රටවල ඉන්න විශේෂඥයෝ තමයි ඕව දන්නේ.... මෙන්න මේ වගේ චින්තනයක් තමයි අපට තිබුනේ. නමුත් වාසනාවකට පහුගිය අවුරුද්දේ ලැබූ ඒ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය තුළින් මේ චින්තනය දෙදරා ගියා. දශක ගණනක් පුරා හිතේ පැල පදියම් වූ චින්තනයක් එක රැයින් ඉවත් වන්නේ නෑ. මේ නිසාම මෙම දීන සිතුවිලි අපගේ යටි හිතේ තවමත් හොල්මන් කරනවා. මේ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒ දීන සිතුවිලි නැවතත් අපව වෙලා ගනීවි.

මේ ලොකයේ දියුණු රටවල් වගේම ඕනෑම සමාජයක දියුණු ( පොහොසත්) මිනිසුන් සිටිනවා. මේ රටවල් වගේම මේ මිනිස්සුත් පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. ඔවුන් බොහෝ දෙනෙකුට හීන තිබුනා. මිනිහෙක් හෝ සමාජයක් සිහින දැකිය යුතුයි. සිහින දකින්නේ නැතිව කිසි දිනක කිසිම අරමුණක් ජය ගත නොහැකියි. යමක් ජය ගැනීමට නම් ඒ සදහා සිහින දැකිය යුතුය. ආශා කල යුතුය. මෙයයි මානව ස්වභාවය.

අප ලොකු ලොකු සිහින දකින්නේ නම් අපගේ අරමුණුද විශාලය. නමුත් ලගා කරගැනීම අපහසුය එසේම ලගා කරගත් විට ප්‍රතිලාභද විශාලය. මා දකින ආකාරයට ජාතියක් විදිහට අපි ලොකු සිහින දැකීමට බයක් දක්වයි. ඒ පෙර සදහන් කල දීන සිතුවිලි නිසාමය.

පහුගිය දිනවල කතාවුනු එක් මාතෘකාවක් තමයි ලංකාවෙනුත් සන්නිවේදන චන්ද්‍රිකාවක් යැවීම. කී දෙනෙක් මේකට හිනා වුනාද? මේ සිහිනය ප්‍රතික්ෂේප කලාද? ඇත්තම කියනවා නම් එවැනි දෙයක් කිරීමට අපට පුළුවන් කියා හිතන්න හුග දෙනෙක් අකමැතියි. බයයි. මේ අපට වැරදුනු තවත් තැනක්.

ලොකු හීන දකින්න බය වෙන්න එපා. මොකද මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. අතීතය දිහා හැරිලා බැලුවොතින් ඒක පැහැදිලියි.

හැබැයි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි හීන බල බල ඉදල නම් මදි. ඒ හීනය සැබෑ කරගන්න අපේ උපරිමයෙන්ම මහන්සි වෙන්න ඕනේ. සිහින දකින්නේ නැතිව වැඩ කරන්න බෑ. වැඩ කරන්නේ නැතුව සිහින වලින් ඇති වැඩක් නෑ. අපිට මේ දෙකම වුවමනායි අපේ රට හෙට සුරපුරයක් කරන්න නම්.

Friday, February 26, 2010

රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරුවෝ

අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන සබන් කැටයේ පටන් කර්මාන්තශාලාවේදී භාවිතා කරන අධි සාන්ද්රභ සල්ෆියුරික් අම්ලය දක්වා මෙකී නොකී සෑම දෙයක්ම නිපදවෙන්නේ කොහේ හෝ කර්මාන්තශාලාවක මහා පරිමාණයෙන්ය. මේ සෑම දෙයකම ආරම්භය වුනේ විද්යානගාරයයි. විද්යා ගාරයේදී පරීක්ෂණ නල කිහිපයක්, බීකර කිහිපයක් යොදා ගෙන නිපද වූ දෑ කර්මාන්තශාලාවක් දක්වා විකාශය කිරීමට විද්යාකඥයකුගේ දැනුම ප්රරමාණවත් නැත. ඉංජිනේරුවරයකුගේ දැනුම ද ප්රමමාණවත් නැත. ඒ සදහා මේ සියලු දැනුමේ සංකලනයක්, එනම් රසායන හා ක්රිකයාවලි පිළිබද ඉංජිනේරුවෙක් (chemical and process engineer) තමයි ඕනෙ කරන්නේ.

ලාංකික අපට තරමක් නුපුරුදු වුනාට ලෝකය පුරාම ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනල ඒ වගේම ඉහළ වැටුප් තලයක පවතින වෘත්තියක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

ඇතමෙක් මෙය universal engineering ලෙස හැදින්වීමටද උත්සාහ දරනවා. එහි යම්තාක් දුරකට සත්යiයතාවයකුත් තියෙනවා. ඒ chemical and process engineering යනු සියළුම ඉංජිනේරු විෂයන්ගේ මෙන්ම රසායන හා පරිඝනක විද්යා වේද එකතුවක් වන නිසාවෙනි.

ලංකාව තුළ මෙම වෘත්තිය තවමත් ප්රේචලිත නැත්තේ අප රටේ කර්මාන්තශාලා නොමැති වීමයි. අප සතුව පැවති රනාල සල්ෆියුරික් කර්මාන්තශාලාව, පරන්තන් රසායන කර්මාන්තශාලාව, යූරියා කර්මාන්තශාලාව ආදී සියල්ල අද වැසී ගොස්ය.

නමුත් නැවතත් නැගී සිටීමට කාලය එළඹ ඇත. මේ පිළිබදව තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පල කිරීමටද අදහස් කරමි.

Thursday, January 28, 2010

කව්ද මෝඩයෝ?

ම්ම්ම්.... වැඩ ගොඩක් මැද්දෙ ඉදගෙන වුනත් මට ‍මේ ලිපිය ලියන්න හිතුනේ මා දුටු blog කිහිපයක් හා facebook එකේ දුටු අදහස් කිහිපයක් නිසයි. ඇතමෙක් මේක බොහොම ප්‍රාථමික,ළාමක මෙන්ම ගල් යුගයේ මතයක් ලෙස දකින්නට පුළුවන්.

මම කතා කරන්න යන්නේ ජනාධිපතිවරණය හා රාජ සංකල්පය ගැනයි. කිහිප දෙනෙක් ජනතාව තුළ තිබෙන රාජ සංකල්පය බොහොම සමච්චලයට ලක් කර තිබුනා. නමුත් මම දකින ආකාරයට අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාව පුරාම ජනතාව ශ්‍රේෂ්ඨ රජෙක් යටතේ ජීවත් වීමට තවමත් ප්‍රිය කරනවා. එය මෝඩ කමක්වත් සිනහවට කාරණයක්වත් නොවෙයි. ඒ වසර දෙදහස් ගණනක් මුලුල්ලේ රජුන් සමග ජීවත් වීම අපේ ලේ වලට බද්ධ වී තිබීම නිසයි.

මේ තත්වය අපට දේශපාලන කරලිය පුරාම දකින්නට ලැබෙනවා. ජනතාව තමන් සහය දක්වන දේශපාලන පක්ෂය එහි නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසාය. ඒ නිසා ෆොන්සේකා මහතාට මනාපය පල කළ අයගෙන් අතිමහත් බහුතරයක් එසේ කළේ මේ කාරණාව නිසාමය. එදා රනිල් වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයන්ට දුන් නියෝගය අනුව ඔවුන් කටයුතු කර ඇත. තවමත් රටේ බහුතරයකගේ ස්වභාවයයි.

මා දකින්නේ මහින්දට ඡන්දය දුන් බොහෝ දෙනෙකු එතුමාට ඡන්දය දුන්නේ ඉමහත් ආදරයකින් යුක්තවය. ඡන්දය දැමීමට පෙර බුදුන් වැද පහන් පත්තු කර මහින්ද දිනේවා යැයි ප්‍රාර්ථනය කර ඡන්ද පොළට ගිය ඡන්ද දායකයෝ මම පුද්ගලිකවම හදුනමි. ඔබ බොහෝ දෙනෙකුට එය සිනහවකට කාරණයක් වේවි. නමුත් ඇත්ත තත්වය නම් රටේ ජනතාව හද පතුලෙන්ම ආදරය කරන නායකයකු අද පහළ වී ඇත.

මේ තත්වය අන්තර්ජාලයේ සිටින ඇතැම් පණ්ඩිතයන්ට ජනතාව මොඩයන් සේ පෙනීමට හේතු වී ඇත. තමන් ජනතාව වෙත ඉදිරිපත් කළ මතය පැහැදිළී ලෙස ප්‍රතික්ෂේප වූ විට ජනතාව මොඩයෝ යැයි චෝදනා කිරීම නරියා මිදි තිත්තයි කිව්වා වැනිය. අවංකවම තමන්ට වැරදුනේ කොතැනද ජනතාවගේ සිතුම් පැතුම් කෙසේදැයි තේරුම් ගැනීමට මොවුන්ට පුළුවන්නම් මීට වඩා අගනේය.