Wednesday, December 26, 2012

විභාගයේදී ඔබේ ලකුණු රැක ගන්න


කොච්චර දැනගෙන හිටියත් විභාගයේදී හිතපු තරම් ලකුණු හම්බ වෙන්නේ නැද්ද? ඒ ඔබ ඔබට හිමි විය යුතු ලකුණු රැක ගන්නේ නැති නිසා. ඔබ දන්නා බව විභාග පරීක්ෂකවරයාට පෙන්වන්නේ නැති නිසා. විභාගයක් ගැන ඔබ තේරුම් ගතයුතු මූලික කරුණ ඇතුලත් කරලා කලින් මා ලිවු ලිපි දෙක සම්බන්ධ කරලා පොඩි පොතක් පිළියෙල කලා. ඒක
මේ පොත විභාග වලට මුහුණ දෙන නංගිලා මල්ලිලා එක්ක විතරක් නෙමෙයි යාළුවෝ එක්කත් බෙදා හදා ගන්න

Thursday, August 2, 2012

උසස් පෙළට දැන් ලෑස්තිද? .... (2)


කලින් ලිපියේ අපි සාකච්චා කලේ විභාගයකට මුහුණ දෙනකොට අපි විසින් මූලිකවම දැන ගන්න ඕනේ කරුණු කාරණා කිහිපයක්. අද මේ ලිපියෙන් ඉන් තරමක් ඔබ්බට ගිය කරුණු කිහිපයක් තේරුම් බේරුම් කර ගමු.

කලින් ලිපියේදී අප කියා සිටියා උත්තර සපයන එකත් එක්තරා සන්නිවේදන ක්‍රියාවලියක් කියා. සන්නිවේදනයේදී අප උත්සාහ කරන්නේ අපේ හිතේ ඇති යම් අදහසක් හෝ හැගීමක් තව කෙනෙකුගේ හිතට ඇතුළු කිරීම. එහෙමත් නැත්නම් ඔහුට එය තේරුමටයි. නමුත් අපිට කවදාවත් අපේ හිතේ තියන දේ ඒ ආකාරයෙන්ම වෙන කෙනෙකුට තේරුම් කර දෙන්න නම් බෑ. අපි කියන්නේ එකක් නමුත් අනිත් අය තේරුම් ගන්නේ වෙන දෙයක් - මේක අපේ ජීවිතයේදී සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය දේ විභාගයටත් පොදුයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී නම් අපි කියන දෙයක් අනිත් අයට තේරුනේ නැති වුනාම ඒ දේ තේරුම්යනකම් නැවත නැවත අපිට කියා දෙන්න පුළුවන්. නමුත් විභාගයකදී අපට ලැබෙන්නේ එකම එක අවස්ථාවක් පමණයි. අපට විභාග පරීක්ෂකවරයා වෙතට ගොස් අප කියන්න උත්සාහ කලේ මෙන්න මෙයයි කියලා නැවත පැහැදිළි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අන්න ඒකයි විභාගයක් ලියන එකත් කලාවක් කියන්නේ. තමන් කොච්චර දැනුමෙන් සන්නද්ධ වුවත් තමන් දන්නා බව ලොකයාට පෙන්වන්ට බැරි නම් විභාග කියන දේ සමත් වන්නට තරමක් අසීරුයි.

සන්නිවේදනයේදී වචනයට වඩා  රූපය ප්‍රභලයි. අපි කථාවට කියන දෙයක් තමයි වචන දාහකින් කියන්න බැරි දේ එක රූපයකින් කියන්න පුළුවන් කියන එක. ඡේද ගණනාවකින් අප කියන්නට හදන දේ එක රූප සටහනකින් අපට විස්තර කරන්නට පුළුවන්. ඒ වගේම බලන කෙනෙකුට එය පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන්. බලන්න ප්‍රශ්න පත්‍රයක රූප මගින් විස්තර කර තිබෙන ප්‍රශ්න අපි බොහොම ලේසියෙන් හා ඉක්මනින් තේරුම් ගන්නවා නමුත් අනිත් අතට වචන මගින් විස්තර ඇති ප්‍රශ්න තේරුම් ගන්නට දෙතුන් විටක්ම කියවන්නට වෙනවා.

ඒ නිසා හැකි සෑම විටම රූප සටහන් මගින් ඔබේ පිළිතුර විස්තර කරන්න. මේවා දළ රූප සටහන් වීම ප්‍රමාණවත්. අඩිරූලක් අරගෙන ගාණට මිම්මට අදින්න අවශ්‍ය නෑ.අවශ්‍ය වන්නේ පැහැදිළි රූපයක් විතරයි.
විභාගයකදී භාවිතා කරන්න පුළුවන් තවත් වැදගත් අංගයක් වන්නේ වගු භාවිතයයි. බොහෝ විභාග වලදී සන්සන්දනය කිරීමේ ප්‍රශ්න ඉදිරිපත් වනවා. වාසි අවාසි විස්තර කිරීම එහෙමත් යම් කරුණු දෙකක් හෝ වැඩි ගණනක් සංසන්දනය කිරීම වගේ දේවල් බොහොම සුලබයි. එවැනි අවස්ථාවකදී ඡේද මගින් විස්තර කිරීමට වඩා වගු මගින් විස්තර කිරීම බලන්නාට මෙන්ම ලියන්නාටද පහසුවක් ඇති කරවනවා. කොහොමද ලියන්නාට මින් පහසුවක් ඇති කරවන්නේ? ඡේද ගණන් ලියනකොට වගේ නෙමෙයි වගුවක් සකසන විට හිතේ සංසන්දනාත්මක අදහස්, කරුණු ඇති කිරීම පහසු කරවනවා. ඒ නිසා වඩා සාර්ථක උත්තරයක් අවසානයේදී පිළියෙල කරන්නට පුළුවන්. ඒ වගේම වගුවක් තුළින් බලන්නාට ඔබේ සංසන්දනය ප්‍රභලව නිරීක්ෂණය කරන්නට පුළුවන් වීමත් සිදුවෙනවා.

අනිත් වැදගත් කාරණය වන්නේ පුළුවන් තරම් ඡේද වෙනුවට කරුණු වශයෙන් (point form) තමන්ගේ පිළිතුර දැක්වීම. බොහොමයක් සිසුන්ගේ අත් අකුරු එතරම් පැහැදිළි නැතිනිසා මෙවැනි ක්‍රම මගින් වඩා වැඩි පැහැදිළිතාවයක් තම තමන්ගේ පිළිතුරු පත්‍රය වෙත ලබා දෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මගින් උත්තර පරීක්ෂාකරන පුද්ගලයාට පුදුමාකාර මානසික පහසුවක්ද ඇති කරනවා.


Wednesday, July 25, 2012

උසස් පෙළට දැන් ලෑස්තිද?


නිමේෂ්ට ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන්. ඒ වුනාට විභාගයේදි නිමේෂ්ට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්න ළමයි දහයක් පහළවක් විතර ඉන්නවා. චමත්ට ඉලෙක්ට්‍රොනික් වැඩ කිරි කජු වගේ පුළුවන් විශ්ව විද්‍යාල සිසුවෙක්. ඒ වුනාට චමත්ට විභාගයේදී ඉලෙක්ට්‍රොනික් වලට හම්බවුනේ B+ එකක් විතරයි. අපිට ජීවිතයේදී මේවගේ යාළුවෝ ඕනෑ තරම් මුන ගැහිලා ඇති.   ඇයි මේ දක්ෂයන්ගේ දක්ෂකම් විභාගයකින් මනින්න බැරි? ඒක අනිවාර්යයයෙන්ම විභාග ක්‍රමයේ ඇති දුර්වලතාවයක්. අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් පැය දෙකකින් තුනකින් මනින්නේ කොහොමද කියන එක ගැටළුවක්. අනිත් අතට වත්මන් විභාග ක්‍රමය වෙනුවට යොදාගන්න පුළුවන් වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් තවමත් අප සතුව නැති බවත් පිළිගන්න ඕනේ. අදුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වැදගත් නිසා පවතින ක්‍රමයට දොස් නගන්නේ නැතිව පවතින ක්‍රමය තුළ ජයගන්නේ කොහොමද කියලා සිතීම වැදගත්.

තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය, IT කියන්නේ අපේ යුගයේ වචන. ඔබ විභාගයකට මුහුණ දීමට සූදානම් වන විට ඔබ පැහැදිළිව තේරුම් ගතයුතු කරුණ වන්නේ විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම යනු එක්තරා සන්නිවේදන ක්‍රමයක් බවයි. අපට කෙලින්ම විභාග පරීක්ෂකවරයෙක් ලගට ගොස් අපේ දැනුම, දක්ෂතා ඔප්පුකර පෙන්විය නොහැකි නිසා අප වෙනුවට අපේ උත්තර පත්‍රය  විභාග පරීක්ෂකවරයා වෙත යොමු කරනවා. සරලව කියනවා නම් අපේ උත්තර පත්‍රය අපේ නියොජිතයායි. අපේ වැඩක් අප වෙනුවෙන් කරන්න කියා වෙන කෙනෙකුට පවරනකොට අපි ඒක ආවට ගියාට කරන්නේ නෑ. අපි ඒ වැඩේ හරියට කරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙකුට විතරයි පවරන්නේ. උදාහරණ විදිහට

  • ·         ගමනක් යනවිට ගේ දොර බලා ගැනීමට කෙනෙකුට පැවරීම
  • ·         බැංකුවට ගොස් බිලක් ගෙවීම
  • ·         පාසලේ සිට ළමයාව ගෙදර එක්කාගෙන ඒම

වැනි සිද්ධි ගත්විට ඒ වැඩේ බාර දෙන්න කලින් අපි දෙපාරක් හිතනවා. ඉතින් ජීවිතයේ දිශාව තීරණය කරන විභාගයකදී අපව නියෝජනය කරන උත්තර පත්‍රය නිවැරදිව සකස් කර ගන්නේ කොහොමද කියන එක ගැන යම් පැහැදිළි අදහසක් තිබිය යුතුමයි.

උත්තර පත්‍ර පරීක්ෂකයෙක් අපගේ උත්තර පත්‍රය පමණක් නොවෙයි පරීක්ෂා කරන්නේ. ඔහු ඒ හා සමාන උත්තර පත්‍ර සිය දහස් ගණනක් පරීක්ෂා කරනවා. ඒ නිසා අපි හැමවිටම උත්සාහ කරන්න ඕනේ උත්තර පත්‍ර පරීක්ෂකවරයාට කිසිම අපහසුතාවයක් නැතිව පරීක්ෂා කරන්න පුළුවන් උත්තර පත්‍රයක් නිර්මාණය කිරීමට. උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අපගේ උත්තර පත්‍රය බැලීම වෙහෙස ඇති කරවනවා නම් ඔහු අපට දෙන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ලබා නොදෙන්නත් පුළුවන්. උත්තර පත්‍ර පරීක්ෂකවරයාව  වෙහෙසට පත් නොකරන්නේ කෙසේද? සරලම පිළිතුර නම් පිළිතුරු පැහැදිළිව උත්තර පත්‍රය තුළ සටහන් කිරීමයි. ඒ සදහා,

  • ·         පැහැදිළිව ප්‍රශ්නයේ අංකය, අනුකොටස් වල අංක උත්තර පත්‍රයේ වම් අත තීරුවේ ලියන්න.
  • ·         වම් අත තීරුවේ (හෝ පරීක්ෂකවරයාට වෙන්කර ඇති තීරුවේ) වෙන කිසිවක් නොලියන්න.
  • ·         ප්‍රශ්නයක අනුකොටස් අතර රූලක හෝ දෙකක පරතරයක් තබන්න.
  • ·         අනිවාර්යයයෙන්ම සෑම ප්‍රශ්නයකටම පිළිතුරු අළුත් පිටුවකින් ආරම්භ කරන්න.

 කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා බොහොම සරල දේවල්. මෙවැනි දේවල් අත්‍යවශය නෑ කියලා. නමුත් එහෙම හිතන්න කලින් පහළ රූප දෙක බලන්න.
රූපය 1
රූපය 2



   පළවන රූපය ඉහත උපදෙස් අනුගමනය කර ඇති නිසා ප්‍රශ්නයේ අනුකොටස් කිසිම අපහසුතාවයකින් තොරව තෝරාබේරා ගන්නට පුළුවන්. නමුත් දෙවන රූපයේ අනු කොටස් අතර බැලූබැල්මට ඇති පටලැවිලි සහගත තත්වය නිසා සිසුවා කියන්නට හදන දේ එක් වරම ඒ ආකාරයෙන් පරීක්ෂකවයාට තේරෙන්නේ නැති වන්නට පුළුවන. අප තේරුම් ගත යුත්තේ පිළිවෙලකට උත්තර පත්‍රය ඉදිරිපත් කිරීම තුළින් වැඩි ලකුණු ලැබීම කෙසේ වෙතත් අපට හිමි ලකුණ ඒ ආකාරයෙන් සුරැකීම සිදුවන බවයි. නමුත්  අපිළිවෙලට ඉදිරිපත් කිරීම නිසා ලැබිය යුතු ලකුණුත් ඒ ආකාරයෙන්ම නොලැබෙන්න පුළුවන්.

මෙහිදී සදහන් කලේ විභාගයකදී අනුගමනය කළ යුතු සරලම කරුණු කිහිපයක් පමණයි. මීටත් වඩා එහාට ගිය කරුණු කාරණා කිහිපයක් හෙට අනිද්දාම අපි කථා කරමු.





Saturday, January 28, 2012

Power point වලට බායි කියමු !!!

අපි කොහොමද ළමයෙක්ට හරියට උගන්වන්නේ? මේ ප්‍රශ්නය හැම ගුරුවරයෙක්ම තමන්ගෙන් අහන්න ඕනේ දෙයක්. හැබැයි කවදාවත්ම මේකට උත්තරයක් නොලැබෙන තරමට හොදයි  මොකද එතකොට තමයි හැමදාමත් ඉගැනුම් ක්‍රියාවලිය දියුණුවෙන්නේ. 
ඉතින් මමත් පුළුවන් තරම් මේකට උත්තර හොයනවා. විශේෂයෙන්ම අලුත් වන තාක්ෂනය කොහොමද සිසුන්ට ප්‍රයෝජනවත් විදිහට එහෙමත් නැත්නම් ඵලදායි විදිහට ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන්නේ කියලා.
අද අපේ රටේ සාමාන්‍යයෙන් ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන මෘදුකාංගය පවර් පොයින්ට් (power point) පමණයි. එකත් හරියට යොදාගන්නවද කියන දේ ගැනත් අපි ටිකක් හිතන්න ඕනේ.  හුග දෙනෙක් කරන දෙයක් තමයි තමන්ගේ සටහන (note) සම්පුර්ණයෙන්ම  slide වලට යෙදීම. ගුරුවරයෙක් විදිහට මේ විදිහට දේශනය (lectures) පැවැත්වීම හරිම ලේසියි. ඇයි ඉතින් whiteboard එකේ හරි blackboard එකේ හරි ලියන්න ඕනේ නෑ නේ. හැබැයි ඉතින් වැඩක් නෑ මොකද ළමයි ඒ ක්‍රමයෙන් ලොකු දෙයක් ඉගෙන ගන්නේ නෑ. සටහන නම් සම්පුර්ණයෙන්ම ලියාගෙන යාවි නමුත් lecture එකේ හරි අරමුණ ඒක නෙමෙයිනේ. සාමාන්‍යයෙන් හුග දෙනෙකුට ඒ වගේ presentation එකක් දකින කොටත් නිදීමට වෙනවා. ඒ නිසා lectures වලට multimedia යොදාගන්න කොට අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඔන්න ඔය අතරෙදි තමයි මට prezi හම්බවුනේ. 


Prezi වල තියෙන වටිනාම දේ තමයි යම් මාතෘකාවක තියෙන අනු කොටස් කොහොමද ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ වෙන්නේ කියන ඒක බොහොම පැහැදිලිව පෙන්වන්න පුළුවන් වීම. ඒ නිසා lectures සාමාන්‍ය මට්ටමට වැඩ ක්‍රියාශීලි ලෙස කරගෙන යන්නත් පුළුවන්.


මේ තියෙන්නේ මම ඒ විදිහට හදපු පාඩමක්. හැබැයි තවම ගෝලයන්ගෙන් මේ ගැන ප්‍රතිචාර නම් ලබාගන්න බැරි උනා. කොහොම උනත් මම හිටන්නේ මේක power point එකට වැඩිය හොදයි. ඔයාලටත් පුළුවන් මේක තමන්ගේ presentation වලට පාවිච්චි කරලා බලන්න.